ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන

ශ්‍රී ලංකාවේ පාලනය ජාතික, පළාත් හා ප්‍රාදේශීය මට්ටම්වලදී සිදුකෙරෙන්නේ පිළිවෙලින් විධායක ජනාධිපති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මගිනි. පළාත් පාලන ආයතනයක් අවිච්ඡින්න පැවැත්මක ඇති නෛතික පුද්ගලයෙකි. පළාත් පාලනය යනු ශ්‍රී ලාංකිකයන්ට ආගන්තුක පාලන රටාවක් නොවේ. එය දකුණු ආසියාවටම පොදු වූ අරුමයකි. පංචායත් හා මණ්ඩලේ වැනි ගම් ඉලක්ක කරගත් පාලන ව්‍යුහයන් ඉන්දියාව හා නේපාලය වැනි දකුණු ආසියාතික රාජ්‍යයන්හි පැවැතියා සේම, ගම කේන්ද්‍රකර ගත් පාලන රටාවක් සියවස් ගණනාවකට පෙර සිටම මෙරටේ පැවැතිණි. මෙරට මේ (2016) වන විට පළාත් පාලන ආයතන 335 ක් තිබෙන අතර ඒවා වර්ග තුනක් යටතේ සංවිධානය කොට ඇත. එනම්, මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ලෙසිනි.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යයස්ථාවේ 13 වන සංශෝධනයට අනුව පළාත් පාලනය යනු පළාත් සභාව යටතේ පවත්නා විෂයයක් හා කාර්යයකි.

පහත දැක්වෙන්නේ මේ රටේ ජනගහනයට අනුව වර්තමානයේ පළාත් පාලන ආයතන බෙදී ඇති අයුරුය.

මූලාශ්‍රය – ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2013

ප්‍රාදේශීය සභා ක්‍රමවේදය

පළාත් පාලන ආයතනවල සීමාවන්, මහජන ඡන්දයෙන් පත්කර ගන්නා මන්ත්‍රීන් සංඛ්‍යාව සහ ක්‍රියාත්මක වන දිනය ආදිය රේඛීය අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරයි. සභිකයින් (මන්ත්‍රීවරුන්) පත් කරන්නේ මහජන ඡන්දයෙනි. සභිකයින් (මන්ත්‍රීවරුන්) ගෙන් එක් අයෙකු හා තවත් අයෙකු උප සභාපති වශයෙන් පත් කර ගැනේ.

ප්‍රාදේශීය සභාවේ කාර්යය හා වගකීම්

පළාත් පාලන ආයතන ව්‍යුහය තුළ උත්තරීතර ආයතනය වන්නේ සභාවයි. සභාව සකස් වන්නේ සභාපති, උප සභාපති හා සභික (මන්ත්‍රී) මණ්ඩලය වශයෙනි. සභාවක ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ එය විසින් ගන්නා තීරණ හා ඒවා ක්‍රියාවට නැංවීම මතයි. ඒ නිසා සභාවක සභාපතිවරයා දක්ෂ කළමනාකරුවකු ද විය යුතුය.

ප්‍රාදේශීය සභා ගැන සැළකීමේදී 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතින් පැවරී ඇති විධිවිධාන ක්‍රියාත්මක කිරීම ප්‍රාදේශීය සභාවේ කාර්යය වේ. ඒ අනුව ප්‍රාදේශීය සභාව ක්‍රියා කළ යුත්තේ පහත දැක්වෙන පරිදි ය.

  1. නීතියෙන් සභාවට පැවරී ඇති කාර්යයන් (Duties) පමණක් ඉටු කිරීම.
  2. ප්‍රාදේශීය සභා ව්‍යුහය තුළ ක්‍රියාත්මකවීමට ඇති අතුරු නීති, අණපනත් හා ප්‍රඥප්ති ගැනත්, පැවරෙන බලතල, කාර්යය පටිපාටි හා සභවේ සම්පත් ඵලදායී ලෙස යොදවා ගැනීම ගැනත් අවබෝධයකින් කටයුතු කිරීම.
  3. අමාත්‍යවරයා විසින් පනවා ඇති 1988 මූල්‍ය පරිපාලන රීති හා සම්මත අතුරු ව්‍යවස්ථා පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීම.
  4. පනතේ 122 හා 126 වගන්ති මගින් අතුරු ව්‍යවස්ථා සැකසීමට බලය ලැබී ඇති නිසා ප්‍රදේශයේ අවශ්‍යතා අනුව ඒවා සකසා සම්මත කර ගැනීම.
  5. ප්‍රදේශයේ ජනතාවට ඵලදායී සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීම.
  6. ප්‍රදේශයේ ජනතාවගේ සුඛ විහරණය පිණිස පහසුකම් ප්‍රවර්ධනය, සේවාවන් විධිමත් කිරීම හා පාලනය කිරීම සිදු කිරීමේදී නීත්‍යානුකූලව, අර්ථවත්ව හා බහුතර කැමැත්ත මත ක්‍රියා කිරීම.

මූලාශ්‍රය – ප්‍රාදේශීය සභා සහ ආබාධ සහිත ජනතාව

               එන්.ඒ. ධර්මසිරි/මංජුල ගජනායක